Wednesday, February 17, 2021

තිපිටක චුලාභය මහතෙර.....🌹🌹🌹

(බු.ව. 475 - 530 පමණේදි )

                  මේ තෙරණුවෝ අටුවා නැතිව ත්‍රිපිටකය පමණක් ඉගෙන, පඤ්චනිකායිකයන් මධ්‍යයෙහි ත්‍රිපිටකය සිංහලට නගා කියන්නෙමියි මහාවිහාරයෙහි රන්බෙරය වයන්ට සැලැස්වීය. එවිට සංඝ තෙමේ 

                 “කවර ආචාර්‍ය්‍යවරයකුගෙන් උගත් අර්‍ථ කිමෙක්ද? ආචාර්‍ය්‍ය පරම්පරාව ප්‍ර‍කාශ නොකොට අර්‍ථ කියන්ට ඉඩ නොදෙමු ය”යි කීය. එතුමාගේ උපාධ්‍යාය ස්ථවිරතුමා තමන් වෙත වත් දැක්වීමට පැමිණි චූලාභය තෙරුන් දැක 

                 “ඔබ විසින් රන්බෙරය ගස්වන ලද්දේදැ”යි ඇසීය. එසේයයි කීවිට 

                 “කුමක් සඳහාදැ”යි ඇසීය. 

                 “ස්වාමීනි, ත්‍රිපිටකය සියබසට නැගීම සඳහාය”යි කීවිට

                 “ඇවැත් අභය, ආචාර්‍ය්‍යවරු මේපදය කෙසේ විස්තර කෙරෙත්දැ”යි විචාළේය.

                 “ස්වාමීනි, මෙසේ විස්තර කෙරෙත්” යයි කීවිට මහතෙර

                 “හුං” කියා එය ප්‍ර‍තික්‍ෂේප කෙළේය. ඉක්බිති අභය ස්ථවිරතුමා

  මෙසේ කියත්, මෙසේ කියත්” යයි අන්‍යාකාර වලින් විස්තර කෙළේය. මහතෙර ඒ සියල්ල ප්‍ර‍තික්‍ෂේපකොට 

                 “ඇවැත්නි, තා විසින් පළමුකොටම කියන ලද්දේ ආචාර්‍යවාදයයි; ගුරු මුඛයෙන් නූගත් බැවින් ඒ බව නොදැන අන්‍ය විස්තරවලට බැස්සෙහි. ආචාර්‍යයන් වෙත ගොස් ආචාර්‍ය්‍යමතයන් ඉගෙන එව”යි කීය. 

                  “ස්වාමීනි, කොතැනට යම්දැ”යි විචාළවිට ගඟින් එගොඩ රුහුණෙහි තුලාධාරපබ්බත විහාරයෙහි සර්‍වපර්‍යාප්තිධර මහාධම්මරක්ඛිත නම් තෙරනමක් වෙසේ: එතුමා වෙත යව”යි කීය. චූලාභය තෙරුන් එහි ගොස් මහතෙරුන් වැඳ හුන් කල්හි

                  “කුමක් සඳහා ආවෙහි දැ”යි ඇසීය.

                   “බණ අසන්ට ආමි”යි කීවිට

                   “ඇවැත් අභය, ඇතැම්හු දික්සඟි දෙක ගැන කලින් කල මා විචාරත්: ඉතිරි කොටස් මා විසින් තිස් හවුරුද්දක් මුළුල්ලේ සලකා නොබලන ලදි. එසේද වුවත් ඔබ රාත්‍රිකාලයෙහි මට ඇසෙනසේ පාළිය පාඩම් කිව මැනවි: මම ඒ පිරිවැහු දේ දවල් කාලයෙහි ඔබට විස්තර කරන්නෙමි”යි කීය. පිරිවෙන් දොරටුවෙහි මණ්ඩපයක් කරවා ගම්වැසියෝ බණ අසන්ට ආහ. තෙරණුවෝ ත්‍රිපිටකය අවසන් වන තෙක් ක්‍ර‍මයෙන් විස්තර කොට අවසන් වූ විට අභය තෙරුන් ඉදිරියෙහි පත්කඩදමා වාඩිවී

                    “ඇවැත්නි, මට කමටහනක් කියව”යි කීහ. 

                    “ස්වාමීනි, කුමක් කියනසේක්ද? මම ඔබතුමන්ගෙන් ඉගෙන ගතිමි”යි අභය තෙරුන් කීවිට

                     “ඇවැත්නි, කළ පුරුදු ඇත්තාහුගේ අත්දැකීම අනිකකැ”යි කියා මහතෙරණුවෝ කමටහන් ඉල්ලාගත්හ. (අභයස්ථවිරතුමා එකල්හි සෝවාන්ව සිටියේය.) ඉක්බිති අනුරාධපුරයට ගිය චූලාභයතෙර ලොහප්‍ර‍සාදයෙහි ධර්‍මය උගන්වන්නේ ධම්මරක්ඛිත මහතෙර පිරිනිවියේය යි අසන්ට ලැබී 

                     “ඇවැත්නි, මාගේ ආචාර්‍ය්‍යවරයාගේ රහත්වීම අතිශයෙන් යෝග්‍ය එකකි. එතුමා ස්වකීය අතවැසියා වෙත හිඳගෙන කටමහන් ගත්තේය”යි කීය. 

                              🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏


📚 (මේ ප්‍ර‍වෘත්තිය විශුද්ධිමාර්‍ගයේ කම්මට්ඨානභණනිද්දෙස යෙහි එයි.)

💥මෙතුමා බොහෝ භික්‍ෂූන්ට ධර්‍මය ඉගැන්වූ ආචාර්‍ය්‍යයෙක්ව ද භික්‍ෂූන්ගේ නඩු විසඳූ උතුමෙක් වද සිටි බව විනය අටුවාහි තේරසකවණ්ණනා වෙහි පෙනේ.  

💥ස්මෘතිමතුන්ට නිදර්‍ශනයක් වශයෙන් දික්සඟිඅටුවාහි මේ තෙරුන්ගේ නම දක්වා තිබේ. තමන් වහන්සේගේ ස්මරණ ශක්තිය ගැන භික්‍ෂූන් විචාළවිට අනුරාධපුරයේ දොරටු සතරෙන් තුනක් වස්වා එක් දොරටුවකින් ඇතුළත වසන සියලු මිනිසුන් නික්මෙන කල්හි ඔවුන්ගේ නම් අසා සිත තබාගෙන හවස හැරී එන විට ඒ සියල්ලන්ගේ නම් නොවරදවා කියහැකි බව ප්‍ර‍කාශ කෙළේය යි එහි මහාපරිනිබ්බාණ සූත්‍ර‍වර්‍ණනා වෙහි කියවේ.

💥“පශ්චිමභවික බෝසතුන් උපන්කෙණෙහි උතුරට අභිමුඛව පයින් ගියේද? නැතහොත් අහසින් ගියේද?” යනාදි ප්‍ර‍ශ්න කීපයක් මේ චූලාභය තෙරුන් විසින් ලෝහප්‍රාසාදයේදී විසඳන ලද බව දික්සඟිඅටුවාහි මහාපදාන සූත්‍ර‍වර්‍ණනාවෙහි ද මැඳුම් සඟියේ අච්ඡරියාබ්භූත” සූත්තවණ්ණවෙහි ද කියවේ. “බෝසත් තෙමේ පොළොවෙහි ගියේය; මහජනයාට අහසෙහි යන්නාසේ පෙනුණි. එතුමන් වස්ත්‍ර‍ රහිතව ගිය නමුත් වස්ත්‍රාභරණයෙන් සැරසුනාසේ පෙනුණි. ළදරුව ගියනමුත් සොළොස් විය ඇත්තකුසේ පෙනුණි”යි එතුමා ප්‍ර‍කාශ කළේය.


-----තවත් කතා කියවන්නයි ,තවත් කෙනෙකුට බලන්නයි ලයික් කරල ශෙයා කරන්න----

මහානාග - චුල්ලනාග දෙනමගේ කථාව .........🌹🌹🌹

                හෙළදිව සෝනකගිරියෙහි වැසි තෙරුන් වෙත මහා නාග - චූල නාග යන සොහොයුරෝ දෙදෙනෙක් පැවිදි වූහ. ඔවුහු අවුරුදු සයක් ගත වෙන තුරු දෙමවුපියන් නො දැක්කාහ. රහත් බවට පැමිණි පසු දෙටුතෙරනම බාල තෙරුන් අමතා

               “අපි මවුපියන් බලන්ට යමු”යි කීය.

යහපතැයි පිළිගෙන දෙනම එක්ව සියගමේ පන්සලට අවුත් අසවල් ගෙදර අඹුසැමි දෙදෙන සුවසේ වසත් දැයි භික්ෂූන්ගෙන් විචාළාහ. එසේ යයි කී විට ඔවුහු අප්‍ර‍මාදීව කුසල් කෙරෙත්දැයි විචාළාහ. 

               “එසේය, එක් නිත්‍ය බතක් දෙති. මැහැල්ලිය ආසනශාලාව හමදියි, පැන් ගෙනැවිත් තබයි, අසුන් පණවයි.” ඉක්බිති බාල තෙරනම එතැනින්ම හැරී යන්ට යෝජනා කළ නමුත් දෙටුතෙරනම

                 “මා වැනි ශ්‍ර‍මණයන්ට වැඳීමෙන් උපස්ථාන කිරීමෙන් ඇඳිලි බැඳීමෙන් ඔවුහු මහත් පිනක් රැස් කර ගන්නාහ. එබැවින් පිණ්ඩපාතයේ හැසිරෙමින් ගොස් ඔවුන් බලමු”යි කීය.

                  ඒ කථාව ලෙස තෙර දෙනම පිඬු සඳහා යන ගමන් තමන්ගේ මවුපියන්ගේ ගෙදොරට ආහ. තෙරුන් දුටු කෙණෙහි මෑණියන්ගේ සිතේ පූර්වස්නේහය උපණි. ඕ දෙටුතෙරුන් වෙත ගොස්

                  “ඔබමහානාගදැයි” ඇසීය. හෙතෙම

                  “පස්සෙන් සිටින තෙරුන්ගෙන් විචාරව”යි කීය. ඒ තෙරුන්ගෙන් ද

                   “ඔබ චූලනාගදැ”යි විචාළ විට

                   “ඉස්සරහින් සිටිය තෙර කීවේ නැද්දැ”යි ඇසීය. මෙසේ දෙනමම තම මෑණියන්ට තමන්ගේ නම් නොකියා පිඬු පිණිස හැසිරෙමින් අන් ගමකට ගොස්

                   “දැන් අප විසින් මවුපිය දෙදෙන දක්නා ලදහ”යි කීහ. උපාසිකාව ගෙයින් නික්ම තමා වසන ගමේ භික්‍ෂූන්ගෙන්

                   “ස්වාමිවරුනි, අර දෙනම මාගේ පුත්‍රයෝදැ”යි විචාළාය. 

                   “ඔබගේ පුත්‍ර‍ බවක් නොදනිමු; මෙහි පැමිණ ඔබගේ තොරතුරුම අපෙන් විචාළාය”යි ඒ භික්‍ෂූහු කීහ. උපාසිකාව ඒ ඒ තැන සොයමින් යන්නී ගම් දෙක අතරේ යන එන්නන්ගෙන් විමසමින් එහා ගමට ගියාය.

                   එකාසනික වූ ඒ තෙරදෙනම මේ ගමේ ඇවිද යන්නෙමුයි සිතා එගම්හි පිඬු පිණිස ඇවිද්දාහ. මැහැල්ලි තෙරවරුන් දැක මගේ ගෙට වැඩිය මැනවැ”යි කීය. බාල තෙරනම 

                   “ස්වාමීනි, උපාසිකාවකගේ කොටස පිළිගත මැනවැ”යි කී නමුත් වැඩි මහලු තෙරනම එහි යා නොහැකැයි කීය. උපාසිකාව ඇවිත් පළමු කොට වැඩි මහලු පුතාගේ පාමුල වැටී ඉක්බිති බාලපුතාගේ පාමුල වැටී දෙනම මැද පෙරළෙමින් විලාප කියා ඔවුන් නවත්වා ගත්තීය. 

     පිරිනිවෙන කාලය දක්වා ඒ දෙනම එහිම විසූහ. මවගේ ගෙය විනාශ වූ විට කැලයෙන් ලී ගෙනවුත් ගෙය සාදා දුන්හ. මෙසේ මේ සස්නෙහි පැවිදිවූවෝ මව වෙත පැමිණියද හඳුන්වා නොදෙති. සොහොයුරු සොහොයුරියන් ගැන කියනුම කිම?

🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

 ⭕ මහාරෝහණගුත්ත මහතෙර .....🌹🌹🌹

           අම්බස්ථල (සෑගිරි) විහාරයෙහි මහාරෝහණගුත්ත නම් තෙර නමක් විසීය. එතුමන් ගිලන්ව සිටි අවස්ථාවක උපස්ථානය සඳහා තිස්දහසක් භික්‍ෂූහු රැස් වූහ. නා රජෙක් ද පැමිණ තෙරුන්ට කැඳ පිළිගන්වන කල්හි ගුරුළු රජෙක් ඒ නා රජු අල්වන්ට දිවගෙන ආවේය. 

           එකෙණෙහි ඒ පිරිසෙහි සිටි වස් අටක් පමණැති බුද්ධරක්ඛිත නම් සෘද්ධිමත් භික්‍ෂුනම ගල්පර්‍වතයක් මවා නා රජු අතින් අල්වාගෙන පර්‍වතය ඇතුළට ගියේය. ගුරුළුරජ පර්‍වතයෙහි හැපී පලා ගියේය. 

මහතෙර නම මේ කාරණය දැක 

          “ඉදින් බුද්ධරක්ඛිතයා නොසිටියේ නම් අපි හැමදෙනම ලැජ්ජාවට පැමිණෙන්නෙමු”යි කීය. 

         මේ සිද්ධියෙන් පසු මහතෙර නම ඒ පැමිණ සිටි මහත් භික්‍ෂු පිරිසට කථාකොට තමා රැගෙන යන ආයුධය නිතර මුවහත් තබා ගෙන යා යුතුවාසේ තමන් ලබා තිබෙන සෘද්ධි බලය මොහොතක දී ක්‍රියාවෙහි යෙදවිය හැකිවන සේ ඛිප්පනිසන්තීන් (වහා ක්‍රියා කළ හැක්කක්) විය යුතුය යි අවවාද කෙළේය.

          ඒ තිස්දහසක් භික්‍ෂූහු එතුමන්ගේ අවවාදයෙහි පිහිටා හැමදෙනම ඛිප්පනිසන්ති ඇත්තෝ වූහ. 

       🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏 💮🙏💮🙏💮🙏💮🙏

📚 මේ කථාව විශුද්ධිමාර්‍ගයේ පඨවිකසිණනිද්දේසයෙහි ද ඉද්ධිවිධනිද්දේසයෙහි ද පෙනේ. අට්ඨසාලිනීඅටුවාහි ද චිත්තුප්පාදකණ්ඩවණ්ණනාවෙහි මේ කථාව විශුද්ධිමාර්‍ගයෙන් බලාගත යුතුය යි කියන ලදී.

Tag #නාග #ගුරුළු

-----තවත් කතා කියවන්නයි ,තවත් කෙනෙකුට බලන්නයි ලයික් කරල ශෙයා කරන්න ----

 ⭕  සිතුල්පව්වේ එකගෙයි විසූ තෙරදෙනම......🌹🌹🌹

                      සිතුල්පව්වේ දෙබිත්ති ගෙයක් තුළ තෙරදෙනමක් විසූහ. මාසේපෝය ද වැසිවළාකුළින් අහස අඳුරුවීම ද පැවති එක් රාත්‍රියක එක් තෙරනමක් අනික් තෙරුන්ට කථාකොට

                     “ස්වාමීනි, මට දැන් චෛත්‍යමලුවේ මල් ආසනයේ තිබෙන නොයෙක් පැහැති මල් පෙනෙති”යි කීහ. අනික් තෙරනම

                     “ඇවැත්නි, එය ආශ්චර්‍ය්‍යයක් නොවේ; මට මහමූදේ යොදුනක් පමණ තැන්හි වසන මත්ස්‍යයෝ ද කැස්බන් ආදි අනය සත්‍වයෝ ද පෙනෙති”යි කීය. (මෙය වනාහි දිවැසින් දැකීමක් නොවේ. විදසුන් වඩන්නන්ට ඥානය පිරිසිදු වීමෙන් ඇති වන ආලෝකයෙන් පෙනීමකි. මෙය විදර්ශනාවට බාධක වූ උපක්ලේශයක් සේ පෙන්වා තිබේ)

       🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏 💮🙏💮🙏💮🙏💮🙏

📚 (විශුද්ධිමාර්ගයේ මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිනිද්දෙසයෙහි මේ කථාව පෙනේ...)

💥දෙබිත්ති ගෙය නම් ගේ මැදින් ගෝණි රෙදි ගසා වෙන් කළ එකකැයි විසුද්ධිමග්ගණ්ඨියෙහි සදහන් වේ.

-----තවත් කතා කියවන්නයි ,තවත් කෙනෙකුට බලන්නයි ලයික් කරල ශෙයා කරන්න ----

#විදර්ශනා_ආලෝකය 

⭕ තිපිටක චුලාභය මහතෙර .....🌹🌹🌹 (බු.ව. 475 - 530 පමණේදි )                   මේ තෙරණුවෝ අටුවා නැතිව ත්‍රිපිටකය පමණක් ඉගෙන, පඤ්චනිකායිකයන් ම...