⭕තිපිටක චුලාභය මහතෙර.....🌹🌹🌹
(බු.ව. 475 - 530 පමණේදි )
මේ තෙරණුවෝ අටුවා නැතිව ත්‍රිපිටකය පමණක් ඉගෙන, පඤ්චනිකායිකයන් මධ්‍යයෙහි ත්‍රිපිටකය සිංහලට නගා කියන්නෙමියි මහාවිහාරයෙහි රන්බෙරය වයන්ට සැලැස්වීය. එවිට සංඝ තෙමේ
“කවර ආචාර්‍ය්‍යවරයකුගෙන් උගත් අර්‍ථ කිමෙක්ද? ආචාර්‍ය්‍ය පරම්පරාව ප්‍රකාශ නොකොට අර්‍ථ කියන්ට ඉඩ නොදෙමු ය”යි කීය. එතුමාගේ උපාධ්‍යාය ස්ථවිරතුමා තමන් වෙත වත් දැක්වීමට පැමිණි චූලාභය තෙරුන් දැක
“ඔබ විසින් රන්බෙරය ගස්වන ලද්දේදැ”යි ඇසීය. එසේයයි කීවිට
“කුමක් සඳහාදැ”යි ඇසීය.
“ස්වාමීනි, ත්‍රිපිටකය සියබසට නැගීම සඳහාය”යි කීවිට
“ඇවැත් අභය, ආචාර්‍ය්‍යවරු මේපදය කෙසේ විස්තර කෙරෙත්දැ”යි විචාළේය.
“ස්වාමීනි, මෙසේ විස්තර කෙරෙත්” යයි කීවිට මහතෙර
“හුං” කියා එය ප්‍රතික්‍ෂේප කෙළේය. ඉක්බිති අභය ස්ථවිරතුමා
මෙසේ කියත්, මෙසේ කියත්” යයි අන්‍යාකාර වලින් විස්තර කෙළේය. මහතෙර ඒ සියල්ල ප්‍රතික්‍ෂේපකොට
“ඇවැත්නි, තා විසින් පළමුකොටම කියන ලද්දේ ආචාර්‍යවාදයයි; ගුරු මුඛයෙන් නූගත් බැවින් ඒ බව නොදැන අන්‍ය විස්තරවලට බැස්සෙහි. ආචාර්‍යයන් වෙත ගොස් ආචාර්‍ය්‍යමතයන් ඉගෙන එව”යි කීය.
“ස්වාමීනි, කොතැනට යම්දැ”යි විචාළවිට ගඟින් එගොඩ රුහුණෙහි තුලාධාරපබ්බත විහාරයෙහි සර්‍වපර්‍යාප්තිධර මහාධම්මරක්ඛිත නම් තෙරනමක් වෙසේ: එතුමා වෙත යව”යි කීය. චූලාභය තෙරුන් එහි ගොස් මහතෙරුන් වැඳ හුන් කල්හි
“කුමක් සඳහා ආවෙහි දැ”යි ඇසීය.
“බණ අසන්ට ආමි”යි කීවිට
“ඇවැත් අභය, ඇතැම්හු දික්සඟි දෙක ගැන කලින් කල මා විචාරත්: ඉතිරි කොටස් මා විසින් තිස් හවුරුද්දක් මුළුල්ලේ සලකා නොබලන ලදි. එසේද වුවත් ඔබ රාත්‍රිකාලයෙහි මට ඇසෙනසේ පාළිය පාඩම් කිව මැනවි: මම ඒ පිරිවැහු දේ දවල් කාලයෙහි ඔබට විස්තර කරන්නෙමි”යි කීය. පිරිවෙන් දොරටුවෙහි මණ්ඩපයක් කරවා ගම්වැසියෝ බණ අසන්ට ආහ. තෙරණුවෝ ත්‍රිපිටකය අවසන් වන තෙක් ක්‍රමයෙන් විස්තර කොට අවසන් වූ විට අභය තෙරුන් ඉදිරියෙහි පත්කඩදමා වාඩිවී
“ඇවැත්නි, මට කමටහනක් කියව”යි කීහ.
“ස්වාමීනි, කුමක් කියනසේක්ද? මම ඔබතුමන්ගෙන් ඉගෙන ගතිමි”යි අභය තෙරුන් කීවිට
“ඇවැත්නි, කළ පුරුදු ඇත්තාහුගේ අත්දැකීම අනිකකැ”යි කියා මහතෙරණුවෝ කමටහන් ඉල්ලාගත්හ. (අභයස්ථවිරතුමා එකල්හි සෝවාන්ව සිටියේය.) ඉක්බිති අනුරාධපුරයට ගිය චූලාභයතෙර ලොහප්‍රසාදයෙහි ධර්‍මය උගන්වන්නේ ධම්මරක්ඛිත මහතෙර පිරිනිවියේය යි අසන්ට ලැබී
“ඇවැත්නි, මාගේ ආචාර්‍ය්‍යවරයාගේ රහත්වීම අතිශයෙන් යෝග්‍ය එකකි. එතුමා ස්වකීය අතවැසියා වෙත හිඳගෙන කටමහන් ගත්තේය”යි කීය.
🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏
📚 (මේ ප්‍රවෘත්තිය විශුද්ධිමාර්‍ගයේ කම්මට්ඨානභණනිද්දෙස යෙහි එයි.)
💥මෙතුමා බොහෝ භික්‍ෂූන්ට ධර්‍මය ඉගැන්වූ ආචාර්‍ය්‍යයෙක්ව ද භික්‍ෂූන්ගේ නඩු විසඳූ උතුමෙක් වද සිටි බව විනය අටුවාහි තේරසකවණ්ණනා වෙහි පෙනේ.
💥ස්මෘතිමතුන්ට නිදර්‍ශනයක් වශයෙන් දික්සඟිඅටුවාහි මේ තෙරුන්ගේ නම දක්වා තිබේ. තමන් වහන්සේගේ ස්මරණ ශක්තිය ගැන භික්‍ෂූන් විචාළවිට අනුරාධපුරයේ දොරටු සතරෙන් තුනක් වස්වා එක් දොරටුවකින් ඇතුළත වසන සියලු මිනිසුන් නික්මෙන කල්හි ඔවුන්ගේ නම් අසා සිත තබාගෙන හවස හැරී එන විට ඒ සියල්ලන්ගේ නම් නොවරදවා කියහැකි බව ප්‍රකාශ කෙළේය යි එහි මහාපරිනිබ්බාණ සූත්‍රවර්‍ණනා වෙහි කියවේ.
💥“පශ්චිමභවික බෝසතුන් උපන්කෙණෙහි උතුරට අභිමුඛව පයින් ගියේද? නැතහොත් අහසින් ගියේද?” යනාදි ප්‍රශ්න කීපයක් මේ චූලාභය තෙරුන් විසින් ලෝහප්‍රාසාදයේදී විසඳන ලද බව දික්සඟිඅටුවාහි මහාපදාන සූත්‍රවර්‍ණනාවෙහි ද මැඳුම් සඟියේ අච්ඡරියාබ්භූත” සූත්තවණ්ණවෙහි ද කියවේ. “බෝසත් තෙමේ පොළොවෙහි ගියේය; මහජනයාට අහසෙහි යන්නාසේ පෙනුණි. එතුමන් වස්ත්‍ර රහිතව ගිය නමුත් වස්ත්‍රාභරණයෙන් සැරසුනාසේ පෙනුණි. ළදරුව ගියනමුත් සොළොස් විය ඇත්තකුසේ පෙනුණි”යි එතුමා ප්‍රකාශ කළේය.
-----තවත් කතා කියවන්නයි ,තවත් කෙනෙකුට බලන්නයි ලයික් කරල ශෙයා කරන්න----
No comments:
Post a Comment